Thursday, November 28, 2024

කඩුල්ල

 


පළමු කඩුල්ල..


                  අහස උසට රූරා ගිය කඳන් පොළවට   මුල් ඇඳන් සවිය සොයමින් කිඳා බැස ඇති අපූරුව දෙස මා නෙතු යොමු කළේ ගෙවී ගිය සත් වසරට වටපිටාව පමණක් නොව මාගේ ජීවිතයේ ද එවන් ශක්තිමත් බවක් සැඟවී ඇති බව සනාථ කර දී මෙන් ය.

               මැටි ගසා පොල් අතු සෙවිලි කර තිබූ කඩමණ්ඩිය දැන් සුපර් මාකට් එකක් වී ඇත.

              එදා බොරළු ඇනී පයේ සුළු තුවාල ඇති කළ රළු වැල්ලෙන් හෙබි අඩිපාර දැන් වාහන දෙකකට පහසුවෙන් ගමන් කළ හැකි අන්දමේ කාපට් පාරක් වී ඇත.

                                  ඒත් සමඟ ම මා නෙතු යොමු වූයේ විශාල අකුරෙන් ලියා තිබූ අසල වූ පෝස්ටර් දැන් වීම වෙතය.

              සත් වසරකට ඉහත දී ගිණි වතුර විකුණූ ජයතුංග මුදලාලි මා දෙස බලා දෑත් එක්කොට ආයුබෝවන් කියමින් සිටින අන්දමට මාගේ කට කොණනින් සිනහවක් මතුවිය.ඔහු අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

                          මේ බැද්දෙවෙල ගම්මානය ම දැයි සිතට නැගුණු පැනය ගිලගත්තේ තවමත් ගම දෙස මා බලා සිටින්නේ පිටත සිට බැවිනි.එදා විඳගත් නැවුම් අවුරැලි මැකී ඇද්දෝයි සිතට යම් චකිතයක් දැනෙයි.

             හිතට තරවටු කරමින් කෙටි දුරක් පැමිණියේ ගමන් මල්ලේ බර විසින් මුළු ශරීරයම අරක් ගෙන ඇති බැවිනි.

මේ මා කුඩා කාලයේ තුන් වරුව ම සිටීමට ප්‍රිය කල ස්ථානයයි. එදා මහ මුහුදක් මෙන් දුටු ගමේ වැව අද කුඩා වතුර වලක් සේ දිස් වේ.

                              කාශ්ටක අවු රශ්මියට පැලුනු දෙපා යුගලක් සෙවීම ම දැන් ගමේ අරුමයකට කරුණක් බැව් මා හට හැඟී ගියේ පොල් ගස් බඩ ගෑ ආරොං මාමාද ජැන්ඩියට ඇඳපැළඳ මා පසු කර නොදන්නා කෙනෙකු දුටු මෙන් ෆුට් සයිකලේ යන අයුරු දුටු හෙයිනි.ආරොං මාමා කෙරෙහි මා තුළ ඇති වූයේ නොරිස්සුමකි. එය නම් ඔහුට මා හැඳින ගැනීමට නොහැකි වූයේ මන්ද යන්නයි. 

                  පසකට තිබූ අඩිය නැවතත් ඉදිරියෙන් තැබුවේ මෙතරම් දුරක් ගෙවා ගමට ආ කාරණය ඉටු කරගෙන මිස නැවත නොයාමේ බලාපොරොත්තුව සිහි වූ බැවිනි. 

                     වැව් ඉවුරේ ගමන් කරන විට උදෑසන පටන් ආ ගමනේ තෙහෙට්ටුව මැකී ගියේ හමා එන සිසිල් සුළං රැලි විසින් දහදිය අතුරුදහන් කර දැම්මාක් මෙනි. 

             තවමත් සිතට නැගෙන්නේ එකඳු පැනයකි. ඒ ඇය තවමත් ජීවතුන් අතර  සිටීද, නැති නම් මිය ගොසින් ද යන්නයි.

                     නමුදු සිත පවසන දෙය මොලය විසින් ඇසීමට ඇති අකමැත්ත නිසා මම දෙපැත්තක් අතර කෙටි වෙලාවක් දෝලනය වුණෙමි.

           වැව් දිය මත විටෙක එසවෙමින් තවත් විටෙක ගිලෙමින් කුඩා තිත්ත පැටවෙකුට අංචි අදින දියකාවෙකුගේ දර්ශනය මත මම විනාඩියකට ඇස් යොමු කළෙමි.

                     අතීතය මතක් වී දෙනෙතට කඳුළු බිදු මෝදු වූයේ මටත් හොරෙනි.


අතීතය..

"කොල්ලෝ කොල්ලෝ...."

සුමනා බෙරිහන් දෙමින් හඬ තලන්නේ ඇගේ දෙවෙනි දරුවා වන සිරිල්ට ය.

"මේකා මොන ඉලව්වක ගොහින් ද කියල දෙයියො තමයි දන්නෙ. උවමනා වෙනකොට එකක් නැති හැටි ගෙදර, ඇත්තමයි තෝව මට අහුවුනොත් අද දෙනවා පස්ස රත් වෙන්න. පොඩි කමටද මුගෙ වැඩ."

             එහා ගෙදර පියසීලිගේ දරුවාට තඩි බා අදත් ලැහැබේ සැඟවී සිටින සිරිල් සොයා ඔහුගේ මව බෙරිහන් දෙන්නේ සිරිල්ගේ ඉහ මොල රත් වී දාඩියෙන් පෙඟී යට විට ය.

                                            "මුං මකලවත් හදන්න බෑ මේ කපේ. අප්පත් නැතුව ලොකු කරේ තොපිව මේම ගමේ ගෑනුන්ගෙන් ඇනුම්පද අහන්න ද යකෝ."

               සුමනාගේ විලාපය අසා සිටි සුනිල් රෑ බෝවී එන තෙක් ම හඬ ඇසෙන දුරින් ගසකට මුවාව සිට අඬ අදුරේ නිවසට පා තිබ්බේ සෙමෙන් සෙමෙන් ය.

                    මවගේ කේන්තියේ තරම දන්නා ඔහු නෑසෙන ලෙසින් පය තබා ඇතුල් වූයේ කුස්සියේ දොර දෙසිනි. නමුදු ඔහුගේ කපටිකම් දෙස කට කොණක සිනහවෙන් බලාසිටින සුමනා හට ඔහු කෙරේ අසීමිත සෙනෙහසක් දැනුණි.

ගමේ ගෑනුන්ගේ කයිකතන්දර නිසා ඇය විසින් ඔහුට කෝටුපාර ගැසූ වාරවල් අනන්තය අප්‍රමාණය. වේදනාව කෙතරම් වුවත් ඔහු වරදක් බාර  ගත්තේවත් එකට එක කියා සුමනා සමඟ දබර වූයේවත් නැත. ඉතින් මේ ඇයගේ මියගිය ස්වාමියාගේ කපාපු පලුවය.

              කෙතරම් දඩබ්බර කොලු ගැටයෙකු වුවත් සිරිල් ඉගෙනීමේ දී දක්ශයෙකු විය.ඉස්කෝලෙ මහත්තයාගේ සිත දිනා ගත් දරුවන් කිහිපදෙනා අතර සිරිල් සිටියේ උසම අත්තේය.

මතුවට..


(අලුතින් පටන් ගත්ත මගේ දෙවෙනි නවකතාව.

මෙතැන් පටන් ඉදිරියට මෙහි සියලු කොටස් මෙම පිටුවේ පළ කරනු ලැබේ..)

කවි සී පද



හෙමිහිට ගොතන  සී පදයක රස එළිය

ඇසුවෙමි සවන් පිනවා යන මගෙ මලය

ගින්නකි දිවිය රස මුසු තැන් නැති වමය

නාඬන්  ලේනි   නුඹටත් පිං  හිමි නැතිය


ආයුබෝවන්ඩ ඇත්  රජුනේ එන්න    එපා

ඇවිදින් ඉරිඟු අස්වනු  ටික ගණිනු   එපා

වැඳා  පතමි   නුඹෙ    පවුලට විපත්  එපා

කුසගිනි හේනෙ දේ අරගෙන යන්ට  එපා


පසළොස්වක ට රැස් නහවන සඳේ සොබා

නැති  ය අයෙකු  ඒ  පැහැයට  සමව   තබා

වීය   නම්   දිනෙක  සම  කෙරුමකට   සබා

ඒ  නුඹ  මැනිකෙ  මගෙ  සම්පත චන්ද්‍රපබා


DEWMINI MAHESHIKA..✍️

Tuesday, November 26, 2024

රොබරෝසියා...

 01 රොබරෝසියාව.

       නුඹ කෙදිනකවත් නැවත නොයෙන එම මාවතේ අදත් මා පියමැන ගියේ මන්දාරම් අහස යට දිස්නෙ දෙන රොබරෝසියන් මල් යාය සමීපයටයි.සුපුරුදු ලෙසින් හිත පැරී රිදුම් දෙන්නා වූ මතකයන් සමඟ මල් පෙති මතින් පියවර තබන විට දැනෙන හුරු පුරුදු හැඟීම අදත් මා විඳගත්තෙ තනිවමයි.

                  පෙරදා පහන් වෙන තෙක් ඇදහැලුනු අධික වර්ශාවෙන් තවමත් මන්දාරම් පොළොව තෙමාලූ වැහිබිඳු වාශ්ප වී ගොස් නැත.

                                                                   වෙනදා මෙන් ම පපුව හිරවෙන මතක ගොන්න මැදින් දිග හුස්මක් ගත්තෙ හිත ආයෙමත් ඒ මතක අස්සෙන් පෑරි පෑරී රිදුම් දෙන බව දැන දැනමයි. ඇස්වලට ඉනු කදුළු වෙනදා මෙන් නිදහසේ ගලන්නට ඉඩ හැරියෙ මතක හංගන් තවත් තනිව විඳවීම අසීරු නිසයි.              

                                                          එදා මේ ගල් බංකුව උඩ හිඳගෙන හරි ආදරයෙන් දුන් ඒ පොරොන්දු එකින් එක ඉශ්ට වේවි යැයි අදටත් මටත් වඩා රොබරෝසියන් මල්  බලාපොරොත්තුවෙන් ඇති.මතක් වෙන හැම වතාවකදී ම නුඹ ළඟට දුවන් එන්න හැකි දුරක් නෙමේ නුඹ ගියෙ කියල හදවතට දැනෙද්දි හූල්ල හූල්ල මතක මත්තෙහි ම විඳවන්න මම දැනටමත් හිත හදාගෙන ඇත්තෙමි. ගත වූ  කාලය හරි සුන්දරයි වගේ ම ප්‍රේමණීයයි. ආදරය නම් මිය ගිය අකුරු හතරට මා වෛර කළ සමයක එම අකුරු හතරට ම පණ ඇති අන්දම නැවත මා හට දැන්වූවේ නුඹේ ආදරයයි. 

                                            බියක් නොමැතිව මහපොළොව මත පියවර තබමින් ඇවිද යාමට උපකාර කළ නුඹ, මා තනිකර ගිය දිගු ගමන නිසා මම තවමත් පොළොව පිළිබඳ චකිතයකින් පසුවෙමි.

              මතුවට..


(මේ මම ලියන පළවෙනි නවකතාව. ඒ නිසා ඔයාලගෙ අදහස් විවේචන මට ගොඩක් වැදගත්. පුළුවන් නම් කතාව කියවලා මේ ගැන ඔයාලගෙ අදහස් මටත් කියන්න)

මෙතැන් පටන් කතාවේ සියලු කොටස් මෙම පිටුවේ පළ කෙරේ.

             


Wednesday, November 20, 2024

මා ද නො හඳුනන මම

හෙන හඬින් 

අකුණු පිපිරෙන වළා මැද

සොයමි,මම 

මා පැතූ 

වස්සානය


තනීවිම්

අසරණ වීම් 

මැද ගෙවමි 

ජීවිතය තනිවම


නැත,

පාළුවක් මා හට

නො සොයමි 

තවත් නුඹ ගැන


සිතක් නැත්තෙකුට 

හැඟීම් තිබිය හැකි ද

අසමි මම 

නුඹගෙන් මිතුර

 

තල්ලන්න තලන්න 

මුවහත් වන 

යකඩයකි 

මා සිත


නුඹේ වදනින් 

මෘගයෙකි 

මම

කිසිවෙක් නො ඇසූ 

එයට හේතුවයි

නුඹ


නො දනී ය

මා හැඟීම් 

කිසිවෙක්


අරුමයක් නොව

විටෙක දී

ඒ බැව්

මම ද නො දනිමි

       Dewmini Maheshika..✍️



Thursday, November 14, 2024

මව් සෙනෙහස❤️

 එදා 

සිදුහත් යන විටදි 

තනි මඟ

කන්ථක සෙයින් 

නො පැලුනේ

ඇයි ?

යශෝදරාවගෙ

හදවත


විවේචන නම්

හරි ගොඩයි

ඈ හට

නොතිබුණි ද 

සත්‍ය ප්‍රේමයක් 

දෙවෙනි වූයේ 

කන්ථක හට


අනේ 

හිතවත,

දරුවන් සිටියේ 

කොහි ද 

කන්ථක හට


පැලෙන්නේ නෑ 

ලේසියෙන්

මව්වරුන්ගේ 

හදවත


ලෝදිය කඳු 

උනත් දරාගනී

දරුවන් 

වෙනුවෙන් 

හැමදාමත් 

මව් සෙනෙහස 




        Dewmini Maheshika .✍️

තරහක් නෑ ඇත්තේ දුකක්

 පාර නුහුරුයි නුපුරුදුයි 

ඔබ සිතන්නැති පුතේ ඒම

නොද නී නැවත එන මඟ 

දාලා ගියේ ඇයි මා එලෙස


සොයා යාමට හැකි මුත් 

සොයා නොයෙන්නේ නුඹව

හිඳිය නොහැකී බලා තව ද

මගෙ පුතුගේ දුවගේ අවලාද 


මවක් නැතුව මුත් 

රැක ගත්තේ නුඹව

කෙලෙසක ද අද මෙහෙම 

මහමඟ තනිකලේ මාව


තරහක් නෑ පුතුනි 

ඇත්තේ දුකක් 

අත්හැරීම පිළිබඳ නොව

මාගේ දෑස් අන්ධ වීම පිළිබඳ




   Dewmini Maheshika...✍🏻

Tuesday, November 5, 2024

ආලය ❤️

ආලය හෝ ප්‍රේමය 

පහසු නැත.

තරහව ඊර්ශ්‍යාව වාන් දමන 

කල්හි,

ආලය යනු අයිතිකර ගත

යුත්තක් මිස

හිමිවිය යුත්තක් 

නොවන බව පසක් වේ.


මනෝභාව මත

එකිනෙක පැටලුනු 

හැඟීම් ආසාවන්

දරා ගැනීමට ත් 

යම් තැනක දී

සීමා නො ඉක්මවා 

විඳ ගැනීමටත් 

හැකි විය යුතු අතර

මුළාව ඔස්සේ 

තබන්නා වූ පියවර

විටෙක කුණාටුවක ට

ජීවිතය බිලි දීමටත් වඩා 

භයානක විය හැකි ය.


        Dewmini Maheshika..✍️



Saturday, November 2, 2024

මරණ සම පළමු පද...

ඔහු කවියෙක්

නැවුම් ජන්මයකට 

හිමිකම් කියූ


කල්පයක දි 

විය සිදුරකින් 

අහස බැලූ 


අළු ගසා දමමින් 

පියඹන්නට

උත්සාහ කෙරූ


දරන්නට අසීරු 

මතකයන් 

ගොන්නක් මැද

හෘදය හැඟීම් වලින් 

පිලිස්සුණු විට


කවීන් මියදුනා නොව,


වචන හා හැඟීම් 

තුලනය කොට

උන් ඒ සියල්ල 

මුද්‍රා තැබී ය


එහෙව් කවි පෙළක 

පළමු පදය ද 

මරණයක ට සමය.


Dewmini maheshika .....✍️(මිණි මේඝා)



Tuesday, October 15, 2024

ආයෙත් උපදින අපි

රාමුවක කොටු වූ 

ජීවිතේක

මරණයේ සිරස්තල

ආවර්ජනය කරමින්

කාල රාමුවේ 

හැල්මේ දුවන ප්‍රාණ


ග්‍රාමීය නාගරික 

වෙනසක් කොහෙද 

"මැරෙන්න උපන් මිනිස්සුනෙ"

කම්මැලියා හෙව්වෙ ම

කවදත් කෙටි

මාර්ග


මොලය හිර කෙරූ සිරකුටියක

තාක්ෂණය වුණි

සිව් බිත්තියේ 

අත්තිවාරම


පරිකල්පනය,

අනුවේදනය,

සහකම්පනය 

පෙනේද ආන් 

අත වනන අන්දම

 

රුපියල දුටු තැන 

හැදූ මව අමතක 

ජාතියකට

කෙසේ පෙනෙන්න ද එය


මේ ගමනේ කෙළවර

පතන උන් හැමෝට ම 

අමතකයි,

උන් ආයෙ ඉපදෙන විත්තිය


රාමුව බිඳි දිනයක

ආලෝකය දුටු දිනයක

සිරකුටියේ තරම වැටහේවි

නිදහසේ ගන්නා හුස්මක


✍️ Dewmini Maheshika..



Saturday, September 28, 2024

නිදහස් අධ්‍යාපනයෙන් කිරුළු පළඳින පීඩිතයන් වෙනුවෙන්......

අනෝතත්තයේ නෙළුමක නො ඉපද

සදුන් ගැටයක් සුරතේ නැතිව

සත් පියුමන් මත පා නො තබා

පැමිණියෙමි,

උත්තරීතර පිවිතුරු මව් කුසක් වෙත


දුවක් ද පුතෙක් ද 

අපහැදිලි ඡායාවන්

රැසක් මැද 

විවිධාකාර ඝෝෂාවන් ඇසෙයි මට


මහ ගෙදර ඒකට 

ඒක බඩ පිස්සගෙ අයිතිය

බුද්ධාගම ද කතෝලික ද

අහපු නැති වචන කන්දක

ධනපති පාංතිකයො

හැසිරෙන්නෙ මෙන්න මේ විදියට

පවිත්‍ර කිරි කලේට වැටුණු 

පළමු ගොම බිංදුව 


සිංහල නම් කාටත් පුළුවනි

සාහිත්‍යය ඉගෙන ගෙන 

කැලෑ පත්තර ලියන්ඩ ද

සීයගෙ පැනයට

තාත්තාගෙන්‍ රළු පිළිතුරු හැමදාම 

උළුවස්සෙන් හේත්තු වුණ 

අම්මගෙ ඇස් තිබ්බෙ ම මා ගාව 


හය හතරවත් නො තේරෙන වයසට

මේ අයි කමින් කියල එන්න කීවට

වචන පැටළුනත්  හැමදාම

ආයුබෝවන් කියල කටපුරා කීවෙ 

මම පමණයි කොලේජට ම


සූර්‍ය ඉංග්‍රීසි වලට හරි ම දුර්වල ළමයෙක්

ඉංග්‍රීසි ටීචගෙ හුරු පුරුදු දවසේ වාක්‍ය  

වැකුණි කන් දෙදරන්න

වැදුනි කන් අඩි පුපුරන්න

අපරාදෙ හරකෙක්ට කන්න දුන්න සල්ලි


පහසුකම් අවම ගමේ ඉස්කෝලයක්

පුළුවනි සිරිල්ට ශිල්ප මෙහි හදාරන්න


සිංහල මගෙ මවුබස 

ආගම ඔය කොයිකත් එකයි මට

රුධිරය රතු පැහැතිය 

දැන්,

හිතින් මම දේශප්‍රේමී 

පීඩිත පංතිය  සිංහල බුද්ධාගම 


මහින්ද හිමිගේ පෑන 

මගේ දිවියේ දෑතට ගත් ප්‍රථම බර අවිය

ගියේද සිනහවක් 

බර අවිය?

කෙනෙක් මරන්නත් ජීවත් කරවන්නත් 

පුළුවන් බර අවියකි මෙය


එදා එ අයුරින් ඇරඹූ කවි මඟ

අද දින උත්සවත්ශ්‍රීයෙන් 

කිරුළු පැළඳින


සිරිල් සූරියආරච්චි ඔව් ඒ මම

"මඟක වරුණ"

මගේ ප්‍රථම  කෘතිය එළිදැක්විණ


"හොඳ ම  දේ දුන් අම්මා ට සෙනෙහසින්"

කොලේජයෙන් අස් කර 

හීන දැකි පාසලට ඇතුළත් කලේ ඇය

පාසලේ සරසවි ජය ලැබූ පළමු සිසුවා


එදා බෝහින්න ගම්මානෙන්

සරසවි පා තැබූ පළමු සිසුවා මම

එදා කොලේජයෙන් පහර වැදුනු 

ඉංග්‍රීසි අමාරු  වූ සිරිල් මම 


"උපන් කුල මල ජාතිය 

පොඩිකර පුළුස්සා දමන්න

සාමය සමඟිය සහජිවනයේ

අංකුර දැමූ පැලෑටි හිටවන්න

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්

සුදු මල් වට්ටියක් පුද දෙන්න

පීඩිත පංතිය වෙනුවෙන්

ධනපති පංතියත් යාඥා කරන්න"

       (සිරිල් සූරියආරච්චි  "මඟක වරුණ" )

     

( මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වේ)

K.A.Dewmini Maheshika Karunarathna 

22SSL7011










Friday, September 27, 2024

වසන්තය සොයා....

 වසන්තය සොයා..


තබමි

ගැහුනු පය 

ඉදිරිය ට

නැත නිමක් 

කර්කශ කතර 

පමණකි


දුහුවිලි 

දරා ගත නොහී 

වැසුනු ඇසිපිය

බලමි හැර

අසීරුවෙන්


කාන්තාරයේ සීමා 

පෙනෙනා 

ඉමක් කොණක් 

නැත

ගව් ගණනක 

දුරකින් හෝ


සොයමි 

සැම අත

දිය බිඳක්


කතරක 

කොහි ද

දිය සීරාවන් 

සනසා ගමි 

සිත 

තරවටුවකින්


බැලු බැලු අත

කුණාටු 

පමණකි


හඬමි 

මහ හඬින්


නැතිය 

රූරා වැටෙන්න ට

කදුලකට

පණක් 


සනසා ගමි 

සිත,


වේලාපත් අපල

සිව් වසරකින් 

නිමයි


අත්දුටුවයි

ප්‍රත්‍යක්ෂයි


"වස්තය ඒවි 

එසැනින්"

ඉඩෝරය 

නැවත් නැවතත් 

පවසයි

 

එවිට රහසින් 

අසමි මම

ඔහුගෙන් 


සත්‍යයක් ද

සැනෙකින් 

පැමිණේවි ද 

ඔහු වසන්ත


බලා සිටිමි මම 

පැතූ පැතුමන් 

ඉටුවන 

දිනක් තෙක්


හඬමි 

සිනාසෙමි

දුක කියමි

වැළඳගමි 

තදින් නුඹව


තුවාල වී

සුන්බුන් 

ඉතිරි වූ කැළැල් 

වේලී මාවත් 

තැනූ 

කඳුලැලි 

සුළි කුණාටු 

හමුවේ


මා අත්හැර ගිය 

අහිංසක 

සිනා රැල් 

වස්සානය 

හමුවේ

වාන් දමනා

තෙක්


Dewmini Maheshika..✍️




Tuesday, September 17, 2024

මයුරෙකු අවැසි නැත.

මුතු කුඩ චාමර 

සේද සළු පට පිළී 

නිම වූ 

වස්සානයක්

පැතුම් 

නො කළෙම්

කිසි කළෙක


රළු කටෝර 

මහ පොළවක

විශ්වාසය නැමැති

දෙ පයෙන්

තබන අඩිය ම

අමෘතයකි 

දිවි තුරාව ට


පිල් විදහා 

දෑස් අන්ධන,

රඟන මයුරෙකු 

අවැසි නැත

කිසි කළෙක


නමුදු,

පතමි දිනයක

අප්‍රකාශිත වූ

වදනකට පවා

සියුම් නෙතු 

යොමන

බකමූණෙකුව

මිණි මේඝා..✍️..(Dewmini Maheshika)

Monday, September 2, 2024

බොරළු කැටයක පැතුමක්


ඈත අහසේ දිදුළන තරුවකට 

නන්නාදුනන පොළවක 

බිහි වූ 

බොරළු කැටයක්

පෙම් බඳිමින් සිටී


කප්පරක් පැතුම් සමඟින්

රාත්‍රියේ ඔවුනොවුන් දෙස බලමන්

නොකියා කියන කතා සවන් දීමට 

ළං වූයෙමි වැව් ඉස්මත්තට


සවන් යොමු කළවිට 

බොරළු කැටයේ පැතුමට

මම ඇසිල්ලකින් ගල් ගැසුනෙමි


දිනෙක මම උල්කාවක් වෙමි.

ඔක්සිජන් නොමැති නුඹේ ලෝකයට

නොදැවී පතිත වන.   

     Dewmini Maheshika .✍️.

               

වරා මලක්

 

 

නුඹගේ අපූරු වෙස් මුහුණ 

සයුරු රළ අතර

සැඟව ගොස් ඇත


ක්සිතිජ මායිමේ ගිමන් හරින

මගේ හදවත පතුළ

මුහුදු වැල්ලෙන් සිරව ඇත


වඩදිය බාදියට උදම් වන රළ

සඳ නොදන්නා රහස් වැළඳගනිමින්

උන්මන්තකයෙකු මෙන් 

හැසිරෙන අයුරු

බලා සිටිය නොහැක


හිරු සිටින දිශාවට නෙතු යොමන්නට

එක් සූරියකාන්ත  මලකට අවැසි නැත


එනමුදු,

පුදුමයකි!

සුළගින් ම අතරමං කෙරූ වරා මලක් 

නාඳුන පොළවක් මත 

තවමත් සුළඟට පෙම්

බඳිමින් ඇත.    

                 Dewmini Maheshika..✍️.

Sunday, August 25, 2024

නොගියේ ඇයි ද?

එක්ටැම් ගෙයක හිඳි චිත්‍රාවක  

කසාදය සිදුවුණි 

මල්සරෙක් සමඟ

ඔහු හී හිස්වෙන තෙක් විඳිමින් යයි කතුන් වෙත

අහෝ! චිත්‍රාව 

නොගියේ ඇයි ද 

නුඹ පමණක් ගෙයින් පිට  

            Dewmini Maheshika.✍️.

එපා,සඳ නුඹ අඬන්න


හිනාවුණු  ඔය  පපුව  හත්  කඩකට   පලන්න

හැකි වූ මම කොහොම තිරිසනෙකු ද කියන්න

අමාවක   අහස  නෙක  කතා  පවසාවි අහන්න

කියයි මා ගිය හේතුවත් එපා සඳ නුඹ අඬන්න


                                    Dewmini Maheshika.✍️.

කලු කුම්බර රජෙකු සතුව නැති දෝ හිඳ සමනලියක✍️


සුදුවන් වත කමල දිලෙන 

සකිය මෙසඟ රූ වරුණට 

කෑල මලින් අහක බලන් 

ආ විගසට බඹර රෑන්

සසරක පව් දිග ද මෙවන් 

ළඳුන් නැතේ ඇහැ ගැටෙනට

එකදු ගැටලුවකි, මා හට

කලු කුම්බර රජෙකු සතුව 

නැතිදෝ හිඳ සමනලියක  

   

            Dewmini Maheshika.✍️