Thursday, November 28, 2024

කඩුල්ල

 


පළමු කඩුල්ල..


                  අහස උසට රූරා ගිය කඳන් පොළවට   මුල් ඇඳන් සවිය සොයමින් කිඳා බැස ඇති අපූරුව දෙස මා නෙතු යොමු කළේ ගෙවී ගිය සත් වසරට වටපිටාව පමණක් නොව මාගේ ජීවිතයේ ද එවන් ශක්තිමත් බවක් සැඟවී ඇති බව සනාථ කර දී මෙන් ය.

               මැටි ගසා පොල් අතු සෙවිලි කර තිබූ කඩමණ්ඩිය දැන් සුපර් මාකට් එකක් වී ඇත.

              එදා බොරළු ඇනී පයේ සුළු තුවාල ඇති කළ රළු වැල්ලෙන් හෙබි අඩිපාර දැන් වාහන දෙකකට පහසුවෙන් ගමන් කළ හැකි අන්දමේ කාපට් පාරක් වී ඇත.

                                  ඒත් සමඟ ම මා නෙතු යොමු වූයේ විශාල අකුරෙන් ලියා තිබූ අසල වූ පෝස්ටර් දැන් වීම වෙතය.

              සත් වසරකට ඉහත දී ගිණි වතුර විකුණූ ජයතුංග මුදලාලි මා දෙස බලා දෑත් එක්කොට ආයුබෝවන් කියමින් සිටින අන්දමට මාගේ කට කොණනින් සිනහවක් මතුවිය.ඔහු අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

                          මේ බැද්දෙවෙල ගම්මානය ම දැයි සිතට නැගුණු පැනය ගිලගත්තේ තවමත් ගම දෙස මා බලා සිටින්නේ පිටත සිට බැවිනි.එදා විඳගත් නැවුම් අවුරැලි මැකී ඇද්දෝයි සිතට යම් චකිතයක් දැනෙයි.

             හිතට තරවටු කරමින් කෙටි දුරක් පැමිණියේ ගමන් මල්ලේ බර විසින් මුළු ශරීරයම අරක් ගෙන ඇති බැවිනි.

මේ මා කුඩා කාලයේ තුන් වරුව ම සිටීමට ප්‍රිය කල ස්ථානයයි. එදා මහ මුහුදක් මෙන් දුටු ගමේ වැව අද කුඩා වතුර වලක් සේ දිස් වේ.

                              කාශ්ටක අවු රශ්මියට පැලුනු දෙපා යුගලක් සෙවීම ම දැන් ගමේ අරුමයකට කරුණක් බැව් මා හට හැඟී ගියේ පොල් ගස් බඩ ගෑ ආරොං මාමාද ජැන්ඩියට ඇඳපැළඳ මා පසු කර නොදන්නා කෙනෙකු දුටු මෙන් ෆුට් සයිකලේ යන අයුරු දුටු හෙයිනි.ආරොං මාමා කෙරෙහි මා තුළ ඇති වූයේ නොරිස්සුමකි. එය නම් ඔහුට මා හැඳින ගැනීමට නොහැකි වූයේ මන්ද යන්නයි. 

                  පසකට තිබූ අඩිය නැවතත් ඉදිරියෙන් තැබුවේ මෙතරම් දුරක් ගෙවා ගමට ආ කාරණය ඉටු කරගෙන මිස නැවත නොයාමේ බලාපොරොත්තුව සිහි වූ බැවිනි. 

                     වැව් ඉවුරේ ගමන් කරන විට උදෑසන පටන් ආ ගමනේ තෙහෙට්ටුව මැකී ගියේ හමා එන සිසිල් සුළං රැලි විසින් දහදිය අතුරුදහන් කර දැම්මාක් මෙනි. 

             තවමත් සිතට නැගෙන්නේ එකඳු පැනයකි. ඒ ඇය තවමත් ජීවතුන් අතර  සිටීද, නැති නම් මිය ගොසින් ද යන්නයි.

                     නමුදු සිත පවසන දෙය මොලය විසින් ඇසීමට ඇති අකමැත්ත නිසා මම දෙපැත්තක් අතර කෙටි වෙලාවක් දෝලනය වුණෙමි.

           වැව් දිය මත විටෙක එසවෙමින් තවත් විටෙක ගිලෙමින් කුඩා තිත්ත පැටවෙකුට අංචි අදින දියකාවෙකුගේ දර්ශනය මත මම විනාඩියකට ඇස් යොමු කළෙමි.

                     අතීතය මතක් වී දෙනෙතට කඳුළු බිදු මෝදු වූයේ මටත් හොරෙනි.


අතීතය..

"කොල්ලෝ කොල්ලෝ...."

සුමනා බෙරිහන් දෙමින් හඬ තලන්නේ ඇගේ දෙවෙනි දරුවා වන සිරිල්ට ය.

"මේකා මොන ඉලව්වක ගොහින් ද කියල දෙයියො තමයි දන්නෙ. උවමනා වෙනකොට එකක් නැති හැටි ගෙදර, ඇත්තමයි තෝව මට අහුවුනොත් අද දෙනවා පස්ස රත් වෙන්න. පොඩි කමටද මුගෙ වැඩ."

             එහා ගෙදර පියසීලිගේ දරුවාට තඩි බා අදත් ලැහැබේ සැඟවී සිටින සිරිල් සොයා ඔහුගේ මව බෙරිහන් දෙන්නේ සිරිල්ගේ ඉහ මොල රත් වී දාඩියෙන් පෙඟී යට විට ය.

                                            "මුං මකලවත් හදන්න බෑ මේ කපේ. අප්පත් නැතුව ලොකු කරේ තොපිව මේම ගමේ ගෑනුන්ගෙන් ඇනුම්පද අහන්න ද යකෝ."

               සුමනාගේ විලාපය අසා සිටි සුනිල් රෑ බෝවී එන තෙක් ම හඬ ඇසෙන දුරින් ගසකට මුවාව සිට අඬ අදුරේ නිවසට පා තිබ්බේ සෙමෙන් සෙමෙන් ය.

                    මවගේ කේන්තියේ තරම දන්නා ඔහු නෑසෙන ලෙසින් පය තබා ඇතුල් වූයේ කුස්සියේ දොර දෙසිනි. නමුදු ඔහුගේ කපටිකම් දෙස කට කොණක සිනහවෙන් බලාසිටින සුමනා හට ඔහු කෙරේ අසීමිත සෙනෙහසක් දැනුණි.

ගමේ ගෑනුන්ගේ කයිකතන්දර නිසා ඇය විසින් ඔහුට කෝටුපාර ගැසූ වාරවල් අනන්තය අප්‍රමාණය. වේදනාව කෙතරම් වුවත් ඔහු වරදක් බාර  ගත්තේවත් එකට එක කියා සුමනා සමඟ දබර වූයේවත් නැත. ඉතින් මේ ඇයගේ මියගිය ස්වාමියාගේ කපාපු පලුවය.

              කෙතරම් දඩබ්බර කොලු ගැටයෙකු වුවත් සිරිල් ඉගෙනීමේ දී දක්ශයෙකු විය.ඉස්කෝලෙ මහත්තයාගේ සිත දිනා ගත් දරුවන් කිහිපදෙනා අතර සිරිල් සිටියේ උසම අත්තේය.

මතුවට..


(අලුතින් පටන් ගත්ත මගේ දෙවෙනි නවකතාව.

මෙතැන් පටන් ඉදිරියට මෙහි සියලු කොටස් මෙම පිටුවේ පළ කරනු ලැබේ..)

No comments:

Post a Comment