Wednesday, June 18, 2025

කලුකුමාර....

 හිමි නැති ඇය සොයාගෙන

පියමනිමි මා තුන් වරුවම

රවටා ගිය බව දැන දැන ම මා 

අයැදුම් කළෙමි සක්වළින් නුඹව ම


රුහිරෙන් කිලිටි දෙ අත් එක් කොට

වැන්දෙමි දෙපා මුළ දණහිස් හොවාගෙන

කපාගමි මස් රුධිරය වෑහෙන්ට

යහන මත ගංගාවකි රුධිරය වාන් දමන


නොදුන් ආලය සොයා පියමනින

ජීවිතය කරුමයකි දුටිම් මම මාව ම


කෙලෙසින් මිදෙන්නද අවැසී ප්‍රේයම

එනමුදු නොලැබේනම් සොයන ප්‍රේමය

අයැදිමි රාගය එදිනෙන් පසු හැමදින

පරාජය ලැබුවත් ප්‍රේමය

බලහත්කාර රාගය දිනයි හැමදින


ප්‍රේමයේ මූසල හෝරාවන්

රාගයේ ප්‍රියතම හෝරාවන් ය

ලේ පිපාසය සන්සිදෙන තුරු 

ලුහුබැඳ සොයමි නුඹව ම 


ප්‍රේමිය මම නුඹගේ 

රාගයේ රජු 

ඇඳුරු රාත්‍රියේ එළිබසිනා

කලුකුමාර

Dewmini Maheshika.✍️.



Friday, May 16, 2025

කෙටි කතාවක්...


"ඇයි මං ගැන කවදාවත් ලියලා නැත්තෙ"

"ඇයි එක කවියක්වත් මගෙ නමින් මම වෙනුවෙන් ලියවෙලා නැත්තෙ"

උත්තර නැති ප්‍රශ්න දාහක් මැදින් මෙච්චර කල් කවදාවත් ඇහුනෙ නැති වචන පේළියක් ඇහෙද්දි සත්තයි මේ හිත තප්පර ගානකට නැවතුනා.

මුහුද දිහා බලන් ඉන්න එයාගෙ ඇස් දිහා කවදාවත් කෙලින් බලලා නොතිබුණු මම අද ඒ වචන ටිකට පිං සිද්ද වෙන්න බැලුවා.

ඔව් එයා හරි. 

අපි යාලුවෙලා මේ ගෙවුන අවුරුදු හයට මම කවදාවත් එයාගෙ ආදරේ නමින් එක අකුරක්වත් ලියලා තිබුණෙ නෑ.

මම දන්නවා මේ ප්‍රශ්නෙ එයාට එන්න ඇත්තෙ අවුරුදු ගානකට කලින්. 

ඒත් මම දන්නවා මේ ගෙවුණු කාලෙ ඇතුළෙ ඒක කවදාවත් එයාට ප්‍රශ්නයක් වුණේ නෑ කියන්න.

ඒත් ඇයි එහෙනම් මේ එකපාරටම,

කඳුළු පුරවගත්තු ඇස් වලින් මම ආයෙමත් බැලුවෙ එයා දිහා.

ඔව් එයා වෙනස් වෙලා,

මම දන්නවා දැන් එයා යන්න හේතු හොයනවා.

ඒත්,

කොහොමද මම කියන්නෙ එයාගෙ ආදරේ වෙනුවෙන් එක වචනයක් ලියන්න මගෙ හිතට අදහස් එන්නෙ නෑ කියලා.

කවියක තියෙන වචන කිහිපයකට මට ඒ ආදරේ හිරකරන්න බෑ කියල.

මිනිත්තු කිහිපයකට මාව ගොළු වුණේ වචන එක පිට එක ගලාගෙන ආවත් ඒ කිසිම වචනයක් පිට කරගන්න බැරි වෙද්දි.

මේ හිත එයාට කියවන්න පුළුවන් නම්,

එහෙනම් ඒ වගේ ප්‍රශ්නයක් මගෙන් කවදාවත් අහන එකක් නෑ.

අතේ තිබුණ කඩදාසි කොලය තව ටිකක් අත්ලට හිරවෙලා මිටිමෙලවිලා ගියේ කෙටි ඉකියකුත් එක්ක.

තවත් එක මොහොතක්වත් එතන ඉඳගෙන ඉන්න අසීරු වුන මම නැගිටින්න හැදුවෙ එතනින් යන්න.

"ඔහොම ඉන්න තාම මම කතා කරලා ඉවර කලේ නෑ"

එයාගෙ වචන ආයෙමත් ඇහෙද්දි මම ආපහු හැරුනෙ ඒ වචනවලට මම හැමදාමත් අවනත වුණු නිසා.

ඒත් ඒ වෙලාවෙම එයාගෙ phone එකට call එකක් ආවා. එක පාරක් call එක cut උනත් ආයෙත් ආව call එක එයා answer කලේ මා දිහත් එක වතාවක් බලන ගමන්.

ඔව් මම දන්නවා ඔයා දැන් මගෙ හිත කියෙව්වා.

ඉතින් මම මගෙ හිතින් ඇහුවෙ ඔයාගෙ හිත මට කියවන්න බැ කියල මෙච්චර කල් ඔයා හිතුවෙ කොහොමද කියල.

අන්තිම වතාවටත් එයා දිහා බලලා ඇස් වලින් ගලන කඳුලු අතින් පිහන ගමන් හීනි ඉකියකුත් එක්ක

අවුරුදු ගානක් වචන එකතු කරලා එයාගෙ නමින් අසීරුවෙන් ගැටගහගත්තු පළවෙනි කවිය ලියපු කඩදාසි කොල කෑල්ල එයා ගාවින්ම තියලා 

මම එයාව පහු කරන් ආපහු ඇවිදන් ආවෙ කිසිම දවසක මේ වගේ දුකක් ආයෙමත් මට මේ ජීවිතේ දැනෙන්න එපා කියල ප්‍රාර්ථනා කරන ගමන්..

එයාට මගෙ ආදරේ නොතේරුනේ එයාගෙ වටේටම එයාට ආදරේ කරන අය මහ ගොඩක් ඉන්න නිසා

හැබැයි,

කිසිම කෙනෙක් නැතුව මේ ලෝකෙ දැකපු දවසෙ ඉදන් අනාතව හැදුන මම ආදරේ කළේ

එයාටයි මගෙ හැඟීම් වචන කරපු පෑනටයි කියල එයා දැන දැනත් එයා මාව තනිකරපු එක ගැන මට දැනුනෙ කලකිරීමක්.

ඔව්ව්. 

සමහර වෙලාවට කොයිතරම් වර්ණනා මතින් කවි පද ගැලපුවත් සමහර කවියොත් ආදරේදි fail මිනිස්සු..

               නිමි.

K.A.Dewmini Maheshika Karunarathna..✍️


Monday, May 5, 2025

...ආයාචනා....

මතකාවර්ජනයෙන්

කෙළි තුඩක සිත්තම් මවමින්

ඉනික්බිති ව්‍යංගයෙන්

පබැඳුම් ලද කාව්‍යයන් තුළ

ආවර්ජනයක් 

හද ගැඹුරෙහි හුවාගෙන

විටෙක සවන් පත් අතරින්

ඇසී නෑසී යන්නට

සෙමෙන් මුමුණමි

කිසිවෙකුගේ සවන් නො වැකෙන්නට

පතමි දිනයක  

සිහිනයක් නොම වන්නට

ඒ සිතැඟි

නිදහසේ ගැබ සරමින්

පියාපත් විහිදන්නට

අද පිය මනිනා නිවැරදි මාවත

පුස්සක් නොවී 

පණ ගැහෙන නැවුම් අරුණැල්ලක් වන්නට

සිදු කරමි ආයාචන,

ගී කියන කොවුලෙකුට නොව

සවන් යොමු කරන බකමූණෙකුට

පැමිණෙන්න 

නිදහස් අත්තටු මතින්

විරහ ගීයක අදෝනාවෙන් 

ආල කවි මුමුණන්නට.......


K.A.Dewmini Maheshika Karunarathna✍️




Tuesday, April 1, 2025

බුදු බව හිමි පළමු කත🙏

කියන්නට ගුණ කඳ

වචන නැති හින්දා

මුලු සසර පිං දෙතත් 

මදි නුඹට අම්මා


ලේ බිංඳුවේ පටන් 

 රහකර පෙව් හන්දා

දෙපයින් හිටගත්ත 

ශක්තියයි  අම්මා


එදා බෝසතුන් ළඟ 

බණ අහපු හන්දා

කිසිවෙකුට වචනෙකින් 

ගැරහුවේ නෑ අම්මා


වැටුණු හැම තැන්හි 

රුකුල් දුන් හන්දා

පුරන් වූ කෙත තනිව 

අස්වැද්දුවේ අම්මා


නොදුටුව දෙව් ලොව 

පැලෙන් දැකි හන්දා

දිව භොජුන් වැළඳුවේ 

රසේ දෙවඟන වූ හන්දා


වසන් කර කඳුළැලි 

සිනහවෙන් දියකර නින්දා

බුදුන් දැක නිවන් දකීවා 

රත්තරන් මගෙ අම්මා


පත්තිනි මෑණියනි සමා වී 

වංගියක් පහු වන්නට හැකිවේ ද 

බුදු බව හිමි පළමු කත 

රත්තරන් මගෙ අම්මා


Dewmini Maheshika..✍️


Wednesday, February 26, 2025


  



    ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය

Friday, February 14, 2025

 නිදහසේ ආවර්ජන


නූපන් පරපුරක 

හිමිකම් වෙනුවෙන්

දිවි පිදූ 

වීර පුතුන්ගේ

යටගියාවත ආවර්ජනය

කරනු වස් 


ශෝකාලාප කැටි වූ

රුහිරය වෙනුවෙන්

පණ පොවා 

වැට කඩුලු බිඳ

තුන් කල්හි ජයග්‍රහණයේ 

හිනි මං පෙත් සොයා යන

සවියෙන් පොහොසත්

සිසු විරු අරගලය


මං සොයන විහඟුනි

නිදහසේ ගැබ සරන්න

සවි වූ තැන්හි

අතීත ආවර්ජනය

පාමුළ ද මදකට 

හිස නමන්න

Dewmini Maheshika



Thursday, February 13, 2025

නො පෙනෙන නුඹ, දකින මම


උතුරා පිටාර යන 

ලෝදිය නදියකට

පෙම් බඳිනා

ෆීනික්ස් මම


භංගත්වයෙන් තොර 

මමත්වය

නුඹ හා මම

 

හීන්දෑරි ළඳ බොළඳ 

හැඟීම් මත 

පා පහර ලන

දළ ඇතෙකුගේ 

වේශයයි නුඹ


දෙවරක් පෙරා 

වත්කරන අමෘතයේ

අයිතිය සතු 

සක් දෙව් නුඹ


පීරමින් සක්වල 

තුන් කල්හි විජය ගෙන

අභිමනින් පා තබන

විය නොහැකි පරාජය මත

ජය කොඩි ලෙලවන

සුදු කළු දෝලනයේ 

අළු පැහැය නුඹ


යටත් විජිතයේ 

දිග් විජය පතුරවන

ඇසි පියෙන් 

සිහි මුර්ජා කරවන

භෞතික ස්පර්ශයන් 

හෑල්ලුවට ලක් කරන

සිතලුවෙන් පමණක් 

හදට ළං වන නුඹ


රෝමාන්තික යටි සිතේ 

ආගමනයයි නුඹ

අමෘතයක රස පැන්  

පරදවන

රුවක් නොමැති

පිවිතුරු ආදරයේ 

සංකේතයයි නුඹ


නුඹ නො දකින

නුඹට නො පෙනෙන

මා දකිනා 

කවි පබඳිනා

සක් රුවයි නුඹ


Dewmini maheshika✍️.




Thursday, February 6, 2025

අමාවක හමු වූ තනි තරුව

 දුටිමි තරුවක් අමාවක අහසක

පැවසුවෙමි සිත සිරකළ 

අදෝනා නැඟි සැම

සවන්දුනි ඔහු 

පැවසූ සියල්ලට 

පැවසුවෙමි ආදරේ බව ද

අන් කාටත් වැඩිපුර


එදා තනි මැකූ

නුඹ

සොයාගත නොහැකි වුනි

පීරුවත් මුළු අහස් ගැබ

එළඹුණ

පසළොස්වක පොහොයක

තරු රැසක් හිනැහුනි 

විඩාවම දුරු කර

සෙවූයෙමි පීරමින් 

තනි තරුව මුළු ගුවනෙම

සොයාගත නො හී වූ තැන්හි

කඩිමුඩියේ දිවූ තරුවක් දෙස බලා

පැතුවෙමි දිනෙක

පෙරදින නො කියූ නො ඇසූ 

නුඹේ කතා අහන්නට 

සවන් යොමු කරමි 

හමු වූ තැන්හි  පටන්

මුළු සසරම

  

      Dewmini Maheshika..✍️




Tuesday, February 4, 2025

විරුවනි නුඹට පිං

යදම් බැඳි කුටියක

යුක්තියක් කොහිද

අමාවක අහසක

හෙලූ රුධිරය කැටිකොට

හොවා හදෙහි ගැඹුරෙ ම 

හිත් දහසක පළමු පැතුම

යමව් පෙරට ම

රැක ගනිව් සහෝදරයිනි,

දිවි පුදා හෝ 

ඒ නුඹේ අයිතිය

එදා රුහිරය 

හෙළා පුදකල

ජීවිත දහසක 

පැතුම එය විය

පන්තියක් නැති

ජාතියක් නැති

නිදහස් අධ්‍යාපනය 

සරසවිය රසවිය සවිය 

වූයේ නම් විරුවනි,

ඒ නුඹට පිං සිදු වන්නය


K.A.Dewmini Maheshika

22ssl7011



Tuesday, January 21, 2025

ආදරණීය ඩැෆඩිල් මල🌼💐

අනෙක් අය ආස හැමදේට ම අපිත් ආස වෙන්න ඕනෙම ද ලෝරා..?

නෑ මම අදහස් කළේ එහෙම නෙමෙයි.

මේ අහන්න ලෝරා,

ඔයා ආස රෝස මල් වලට වෙන්න පුළුවන්,

තව කෙනෙක් ආස ඉර හැරෙන පැත්තට හැරෙන සූරියකාන්ත මල් වලට වෙන්න පුළුවන්,

තව කෙනෙක් තව මලකට ආස වෙන්න පුළුවන්.

ඒත්,

හැම මනුස්සයෙක් ම ප්‍රසිද්ධ මලකට ආදරේ කරන්න ඕනෙ කියල නියමයක් නෑ ලෝරා.


ඔයාට මම රෝස මල් නො දුන්නෙ මම ඒවට අකමැති නිසයි.

 ලේසියෙන් ළං කරගන්න පුළුවන් අත ළඟ තියෙන දේවල්වල වටිනාකම පේනවට වඩා හරි අඩුයි ලෝරා.


(හැබැයි මං දන්නවා

මම ඔයාට දවසක අනිවාරෙන් ම ඩැෆඩිල් මලක් දෙයි.🌼

ඉඳ හිට පිපෙන,පිපී සැඟවෙන, 

වසන්තයේ කඳු නිම්නයක පිපුණු හරි අපූරු ඩැෆඩිල් මලක්.)

     Dewmini maheshika.✍️



Saturday, January 18, 2025

ආදරණීය ලෝරා..

 


මිනිහෙක් ට ආදරයක් දැනෙන්න තව මිනිහෙක් ඕනෙම ද ලොරා..?


මිනිස්සු එකේක විදිහයි,

නවතින තැන් 

විරාම ගන්න තැන් 

නිදහස හොයන තැන්

ආදරේ හොයන තැන්

එකිනෙකාගෙන් එකිනෙකා ට වෙනස්.


ලෝරාත් ආදරෙ හොයන් යන්න.

හැබැයි,

අතරමං නොවෙන ගුවනක.

අත්තටු කපලා නොදාන,

කැදැල්ලෙන් එපිට ලෝකයක 

වචනෙකින්වත් බාධා නොකර පරිස්සම් කරන ගුවනක.


හැම මිනිහෙක් දිහා ම ඇස් වලට පේන රාමුවෙන් බලන්න එපා ලෝරා.

ඔයාට වැරදුන පළවෙනි තැන එතන.


ජීවිතේ හරි කෙටියි.

ලැබෙන දෙයින් සතුටු වෙන්න.

ලැබුන දේ හොඳ ම දේ කියල ස්තූති කරන්න.

මේ ලෝකෙ තියෙන්නෙ රාමුවක නෙමේ ලෝරා.

රාමුවෙන් එළියට ඇවිත් ජීවිතේ දිහා වෙනස් විදියකින් බලන්න.


අපි හිතනවාට වඩා මේ ලෝකෙ හරි ලස්සනයි ලෝරා...

  

 දවසක හවසක.

     Dewmini Maheshika.✍️

Thursday, November 28, 2024

කඩුල්ල

 


පළමු කඩුල්ල..


                  අහස උසට රූරා ගිය කඳන් පොළවට   මුල් ඇඳන් සවිය සොයමින් කිඳා බැස ඇති අපූරුව දෙස මා නෙතු යොමු කළේ ගෙවී ගිය සත් වසරට වටපිටාව පමණක් නොව මාගේ ජීවිතයේ ද එවන් ශක්තිමත් බවක් සැඟවී ඇති බව සනාථ කර දී මෙන් ය.

               මැටි ගසා පොල් අතු සෙවිලි කර තිබූ කඩමණ්ඩිය දැන් සුපර් මාකට් එකක් වී ඇත.

              එදා බොරළු ඇනී පයේ සුළු තුවාල ඇති කළ රළු වැල්ලෙන් හෙබි අඩිපාර දැන් වාහන දෙකකට පහසුවෙන් ගමන් කළ හැකි අන්දමේ කාපට් පාරක් වී ඇත.

                                  ඒත් සමඟ ම මා නෙතු යොමු වූයේ විශාල අකුරෙන් ලියා තිබූ අසල වූ පෝස්ටර් දැන් වීම වෙතය.

              සත් වසරකට ඉහත දී ගිණි වතුර විකුණූ ජයතුංග මුදලාලි මා දෙස බලා දෑත් එක්කොට ආයුබෝවන් කියමින් සිටින අන්දමට මාගේ කට කොණනින් සිනහවක් මතුවිය.ඔහු අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

                          මේ බැද්දෙවෙල ගම්මානය ම දැයි සිතට නැගුණු පැනය ගිලගත්තේ තවමත් ගම දෙස මා බලා සිටින්නේ පිටත සිට බැවිනි.එදා විඳගත් නැවුම් අවුරැලි මැකී ඇද්දෝයි සිතට යම් චකිතයක් දැනෙයි.

             හිතට තරවටු කරමින් කෙටි දුරක් පැමිණියේ ගමන් මල්ලේ බර විසින් මුළු ශරීරයම අරක් ගෙන ඇති බැවිනි.

මේ මා කුඩා කාලයේ තුන් වරුව ම සිටීමට ප්‍රිය කල ස්ථානයයි. එදා මහ මුහුදක් මෙන් දුටු ගමේ වැව අද කුඩා වතුර වලක් සේ දිස් වේ.

                              කාශ්ටක අවු රශ්මියට පැලුනු දෙපා යුගලක් සෙවීම ම දැන් ගමේ අරුමයකට කරුණක් බැව් මා හට හැඟී ගියේ පොල් ගස් බඩ ගෑ ආරොං මාමාද ජැන්ඩියට ඇඳපැළඳ මා පසු කර නොදන්නා කෙනෙකු දුටු මෙන් ෆුට් සයිකලේ යන අයුරු දුටු හෙයිනි.ආරොං මාමා කෙරෙහි මා තුළ ඇති වූයේ නොරිස්සුමකි. එය නම් ඔහුට මා හැඳින ගැනීමට නොහැකි වූයේ මන්ද යන්නයි. 

                  පසකට තිබූ අඩිය නැවතත් ඉදිරියෙන් තැබුවේ මෙතරම් දුරක් ගෙවා ගමට ආ කාරණය ඉටු කරගෙන මිස නැවත නොයාමේ බලාපොරොත්තුව සිහි වූ බැවිනි. 

                     වැව් ඉවුරේ ගමන් කරන විට උදෑසන පටන් ආ ගමනේ තෙහෙට්ටුව මැකී ගියේ හමා එන සිසිල් සුළං රැලි විසින් දහදිය අතුරුදහන් කර දැම්මාක් මෙනි. 

             තවමත් සිතට නැගෙන්නේ එකඳු පැනයකි. ඒ ඇය තවමත් ජීවතුන් අතර  සිටීද, නැති නම් මිය ගොසින් ද යන්නයි.

                     නමුදු සිත පවසන දෙය මොලය විසින් ඇසීමට ඇති අකමැත්ත නිසා මම දෙපැත්තක් අතර කෙටි වෙලාවක් දෝලනය වුණෙමි.

           වැව් දිය මත විටෙක එසවෙමින් තවත් විටෙක ගිලෙමින් කුඩා තිත්ත පැටවෙකුට අංචි අදින දියකාවෙකුගේ දර්ශනය මත මම විනාඩියකට ඇස් යොමු කළෙමි.

                     අතීතය මතක් වී දෙනෙතට කඳුළු බිදු මෝදු වූයේ මටත් හොරෙනි.


අතීතය..

"කොල්ලෝ කොල්ලෝ...."

සුමනා බෙරිහන් දෙමින් හඬ තලන්නේ ඇගේ දෙවෙනි දරුවා වන සිරිල්ට ය.

"මේකා මොන ඉලව්වක ගොහින් ද කියල දෙයියො තමයි දන්නෙ. උවමනා වෙනකොට එකක් නැති හැටි ගෙදර, ඇත්තමයි තෝව මට අහුවුනොත් අද දෙනවා පස්ස රත් වෙන්න. පොඩි කමටද මුගෙ වැඩ."

             එහා ගෙදර පියසීලිගේ දරුවාට තඩි බා අදත් ලැහැබේ සැඟවී සිටින සිරිල් සොයා ඔහුගේ මව බෙරිහන් දෙන්නේ සිරිල්ගේ ඉහ මොල රත් වී දාඩියෙන් පෙඟී යට විට ය.

                                            "මුං මකලවත් හදන්න බෑ මේ කපේ. අප්පත් නැතුව ලොකු කරේ තොපිව මේම ගමේ ගෑනුන්ගෙන් ඇනුම්පද අහන්න ද යකෝ."

               සුමනාගේ විලාපය අසා සිටි සුනිල් රෑ බෝවී එන තෙක් ම හඬ ඇසෙන දුරින් ගසකට මුවාව සිට අඬ අදුරේ නිවසට පා තිබ්බේ සෙමෙන් සෙමෙන් ය.

                    මවගේ කේන්තියේ තරම දන්නා ඔහු නෑසෙන ලෙසින් පය තබා ඇතුල් වූයේ කුස්සියේ දොර දෙසිනි. නමුදු ඔහුගේ කපටිකම් දෙස කට කොණක සිනහවෙන් බලාසිටින සුමනා හට ඔහු කෙරේ අසීමිත සෙනෙහසක් දැනුණි.

ගමේ ගෑනුන්ගේ කයිකතන්දර නිසා ඇය විසින් ඔහුට කෝටුපාර ගැසූ වාරවල් අනන්තය අප්‍රමාණය. වේදනාව කෙතරම් වුවත් ඔහු වරදක් බාර  ගත්තේවත් එකට එක කියා සුමනා සමඟ දබර වූයේවත් නැත. ඉතින් මේ ඇයගේ මියගිය ස්වාමියාගේ කපාපු පලුවය.

              කෙතරම් දඩබ්බර කොලු ගැටයෙකු වුවත් සිරිල් ඉගෙනීමේ දී දක්ශයෙකු විය.ඉස්කෝලෙ මහත්තයාගේ සිත දිනා ගත් දරුවන් කිහිපදෙනා අතර සිරිල් සිටියේ උසම අත්තේය.

මතුවට..


(අලුතින් පටන් ගත්ත මගේ දෙවෙනි නවකතාව.

මෙතැන් පටන් ඉදිරියට මෙහි සියලු කොටස් මෙම පිටුවේ පළ කරනු ලැබේ..)

කවි සී පද



හෙමිහිට ගොතන  සී පදයක රස එළිය

ඇසුවෙමි සවන් පිනවා යන මගෙ මලය

ගින්නකි දිවිය රස මුසු තැන් නැති වමය

නාඬන්  ලේනි   නුඹටත් පිං  හිමි නැතිය


ආයුබෝවන්ඩ ඇත්  රජුනේ එන්න    එපා

ඇවිදින් ඉරිඟු අස්වනු  ටික ගණිනු   එපා

වැඳා  පතමි   නුඹෙ    පවුලට විපත්  එපා

කුසගිනි හේනෙ දේ අරගෙන යන්ට  එපා


පසළොස්වක ට රැස් නහවන සඳේ සොබා

නැති  ය අයෙකු  ඒ  පැහැයට  සමව   තබා

වීය   නම්   දිනෙක  සම  කෙරුමකට   සබා

ඒ  නුඹ  මැනිකෙ  මගෙ  සම්පත චන්ද්‍රපබා


DEWMINI MAHESHIKA..✍️

Tuesday, November 26, 2024

රොබරෝසියා...

 01 රොබරෝසියාව.

       නුඹ කෙදිනකවත් නැවත නොයෙන එම මාවතේ අදත් මා පියමැන ගියේ මන්දාරම් අහස යට දිස්නෙ දෙන රොබරෝසියන් මල් යාය සමීපයටයි.සුපුරුදු ලෙසින් හිත පැරී රිදුම් දෙන්නා වූ මතකයන් සමඟ මල් පෙති මතින් පියවර තබන විට දැනෙන හුරු පුරුදු හැඟීම අදත් මා විඳගත්තෙ තනිවමයි.

                  පෙරදා පහන් වෙන තෙක් ඇදහැලුනු අධික වර්ශාවෙන් තවමත් මන්දාරම් පොළොව තෙමාලූ වැහිබිඳු වාශ්ප වී ගොස් නැත.

                                                                   වෙනදා මෙන් ම පපුව හිරවෙන මතක ගොන්න මැදින් දිග හුස්මක් ගත්තෙ හිත ආයෙමත් ඒ මතක අස්සෙන් පෑරි පෑරී රිදුම් දෙන බව දැන දැනමයි. ඇස්වලට ඉනු කදුළු වෙනදා මෙන් නිදහසේ ගලන්නට ඉඩ හැරියෙ මතක හංගන් තවත් තනිව විඳවීම අසීරු නිසයි.              

                                                          එදා මේ ගල් බංකුව උඩ හිඳගෙන හරි ආදරයෙන් දුන් ඒ පොරොන්දු එකින් එක ඉශ්ට වේවි යැයි අදටත් මටත් වඩා රොබරෝසියන් මල්  බලාපොරොත්තුවෙන් ඇති.මතක් වෙන හැම වතාවකදී ම නුඹ ළඟට දුවන් එන්න හැකි දුරක් නෙමේ නුඹ ගියෙ කියල හදවතට දැනෙද්දි හූල්ල හූල්ල මතක මත්තෙහි ම විඳවන්න මම දැනටමත් හිත හදාගෙන ඇත්තෙමි. ගත වූ  කාලය හරි සුන්දරයි වගේ ම ප්‍රේමණීයයි. ආදරය නම් මිය ගිය අකුරු හතරට මා වෛර කළ සමයක එම අකුරු හතරට ම පණ ඇති අන්දම නැවත මා හට දැන්වූවේ නුඹේ ආදරයයි. 

                                            බියක් නොමැතිව මහපොළොව මත පියවර තබමින් ඇවිද යාමට උපකාර කළ නුඹ, මා තනිකර ගිය දිගු ගමන නිසා මම තවමත් පොළොව පිළිබඳ චකිතයකින් පසුවෙමි.

              මතුවට..


(මේ මම ලියන පළවෙනි නවකතාව. ඒ නිසා ඔයාලගෙ අදහස් විවේචන මට ගොඩක් වැදගත්. පුළුවන් නම් කතාව කියවලා මේ ගැන ඔයාලගෙ අදහස් මටත් කියන්න)

මෙතැන් පටන් කතාවේ සියලු කොටස් මෙම පිටුවේ පළ කෙරේ.

             


Wednesday, November 20, 2024

මා ද නො හඳුනන මම

හෙන හඬින් 

අකුණු පිපිරෙන වළා මැද

සොයමි,මම 

මා පැතූ 

වස්සානය


තනීවිම්

අසරණ වීම් 

මැද ගෙවමි 

ජීවිතය තනිවම


නැත,

පාළුවක් මා හට

නො සොයමි 

තවත් නුඹ ගැන


සිතක් නැත්තෙකුට 

හැඟීම් තිබිය හැකි ද

අසමි මම 

නුඹගෙන් මිතුර

 

තල්ලන්න තලන්න 

මුවහත් වන 

යකඩයකි 

මා සිත


නුඹේ වදනින් 

මෘගයෙකි 

මම

කිසිවෙක් නො ඇසූ 

එයට හේතුවයි

නුඹ


නො දනී ය

මා හැඟීම් 

කිසිවෙක්


අරුමයක් නොව

විටෙක දී

ඒ බැව්

මම ද නො දනිමි

       Dewmini Maheshika..✍️



Thursday, November 14, 2024

මව් සෙනෙහස❤️

 එදා 

සිදුහත් යන විටදි 

තනි මඟ

කන්ථක සෙයින් 

නො පැලුනේ

ඇයි ?

යශෝදරාවගෙ

හදවත


විවේචන නම්

හරි ගොඩයි

ඈ හට

නොතිබුණි ද 

සත්‍ය ප්‍රේමයක් 

දෙවෙනි වූයේ 

කන්ථක හට


අනේ 

හිතවත,

දරුවන් සිටියේ 

කොහි ද 

කන්ථක හට


පැලෙන්නේ නෑ 

ලේසියෙන්

මව්වරුන්ගේ 

හදවත


ලෝදිය කඳු 

උනත් දරාගනී

දරුවන් 

වෙනුවෙන් 

හැමදාමත් 

මව් සෙනෙහස 




        Dewmini Maheshika .✍️